සත්‍යය සොයා ගමු

සත්‍යය හරි ආකාරයෙන් සොයා ගමු

පූජණීය භූමියට “පූජනීයත්වය” ලැබෙන්නේ කොතැනින් ද?

පූජණීය භූමිය, පූජණීයයි. එය කිසියම් ආගමක ගරුත්වයන්ගෙන් එකක් ලෙස වැජඹෙන්නේ ය. එය ආරක්ෂා කිරීමත් එහි උරුමයට ගෞරව කිරීමත් එම ආගමිකයින්ට පමණක් නොව අනෙකුත් සියලු ජනතාවගේද යුතුකමකි. මෙම කරුණෙහි දී ඉස්ලාම් ආගමිකයින් වන අපට අවබෝධාත්මක හැඟීමක් ඇත. මන්ද ඉස්ලාම් ආගමත් තමාට අයත් පූජණීය භූමින් ප්‍රකාශයට පත්කර ඇති හෙයිනි.

ඉස්ලාම් ප්‍රකාශයට පත්කර ඇති පූජණීය භූමින් ආරක්ෂා කිරීම ලෝකවාසි මුස්ලිම් ජනතාවගේ වගකීමකි. එම භූමි ප්‍රදේශ එක් රටකට පමණක් අයත්වූවක් නොව මුළු මහත් මුස්ලිම් ලෝකයටම අයිතිවූවකි. එම පූජණීය භූමිවලට මුස්ලිම්වරුන් ඇතුල්වීම එම පූජණීය භූමින් පරිපාලනය කරන රටවලට තහනම් කිරීමේ හැකියාවක් නොමැත.

සවුදි ආරබියානු රජය එම රටෙහි පිහිටා තිබෙන මුස්ලිම්වරුන්ගේ පූජණීය භූමින් දෙකක් බැහැදැකීම සඳහා නිකුත් කරන විසා බලපත්‍රයට ගාස්තු අය නොකිරීමට හේතුව ද එයයි. මෙම අරමුණින් “පූජණීය ප්‍රදේශ බැහැදැකීමේ විසා” යන සුවිශේෂ විසා ක්‍රම‍යක් සවුදි අරාබියානු රජය විසින් හඳුන්වා දී ඇත.

එපමණක් නොව, මෙවැනි නොමිලේ ලැබෙන අනුමැතියක් උපයෝගි කරගනිමින් පූජණීය භූමි ප්‍රදේශයට ඇතුල්වීමටත් පූජණීය ‍ප්‍රදේශයේ මූලික හර ප්‍රතිපත්තීන්වලට විරෝධීව ක්‍රියාකිරීමටත් අවස්ථාවන් ලබා නොදෙන අන්දමින් අදාල රජයන් මුස්ලිම් නොවන්නන් එම පූජණීය ප්‍රදේශවලට ඇතුල්වීමට අවසර නොදෙන්නේය.

මෙවැනි ව්‍යවහාරයන් ඉස්ලාමයේ පවතින බැවින් වෙනත් ආගමක පූජණීය භූමින්වලට ගරු කිරීමටත් එහි සීමාවන් පිළිගැනීමටත් අවශ්‍ය වන්නා වූ අවබෝධාත්මක හැඟීම මුස්ලිම්වරුන් සතුව ඇත. දඹුල්ල පූජණීය භූමි කටයුත්තත් එම නාමයෙන් එහි පිහිටා තිබූ මුස්ලිම්වරුන්ගේ ආගමික ස්ථානයක් පහර දීමට ලක්වූ සිදුවීමත් අප විමසන්නේ මෙම පසුබිමේ සිටය.

අපගේ ප්‍රශ්නය, වෙනත් ආගමක පූජණීය භූමියක් හඳුනාගැනීමට නොහැකිවීම නොව, “පූජණීය ප්‍රදේශය” යන්නෙන් නිර්වචනය වන්නේ කුමක්ද? එය තීරණය කරන්නේ කව්රුන්ද? තීරණය කරන්නේ කුමන කාල වකවානුවෙහි ද? එය ප්‍රකාශයට පත්කිරීම සඳහා ලොව පිලිගත හැකි ව්‍යවහාරය කුමක් ද? යන්නයි. අප මෙම ප්‍ර‍ශ්න මතුකිරීමට හේතුව, ඉස්ලාමයේ මෙම ප්‍ර‍ශ්නවලට පැහැදිලි විසදුම් ඉදිරිපත් කර තිබීමයි.

ඉස්ලාම් ආගමට අයත් පූජණීය භූමි ප්‍රදේශයන් කිසිවෙකු තම හිතුමතයට ප්‍රකාශයට පත් කළ නොහැක. එම බලය විශ්වයාධිපති අල්ලාහ්ට හා උන්වහන්සේගේ ධර්ම දූත මුහම්මද් නබි නායක තුමාණන්ට පමණක් හිමිය. ඉස්ලාමයට අයත් පූජණීය භූමි ප්‍රදේශ මුළු ලෝකයේම ඇත්තේ තුනක් පමණි. 1- මක්කා නගරය. 2- මදිනා නගරය. 3- ජෙරුසලමේ පිහිටි “බයිතුල් මුකද්දස්” යන මෙම ප්‍රදේශ, පූජණීය භූමි ලෙස අවසාන ධර්ම දූත මුහම්මද් නබි නායක තුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද ඒවාය.

“පූජණීය භූමිය” යන්න කිසියම් ආගමක මූලික අංශයන්ගෙන් එකකි. නබි නායක තුමාගේ අභාවයෙන් පසු හතරවැනි ස්ථානයක් පූජණීය භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ බලය අද වනතුරු මුස්ලිම් සමාජයේ කිසිවෙකුටවත් පවරා දී නොමැත. කිසිවෙකුත් පූජණීය භූමිය ලෙස හතරවැනි ස්ථානයක් නම් කළේ ද නැත. මුළු ලෝකයම ඉස්ලාමයේ පාලනයට යටත් වී, එහි පාලකයන් විසින් හතරවැනි ස්ථානයක් කුමන හේතුවක් මත හෝ ඉස්ලාමයේ පූජණීය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ද කළ නොහැක.

මෙය අපට අඟවනුයේ, එකී ආගමේ මූලාශ්‍ර ග්‍රන්ථ මගින් හෝ එම ආගමේ ශාස්තෘවරයානන් විසින් පූජණීය භූමින් ප්‍රකාශයට පත් විය යුතුය යන්නයි. සිතූ සැනින් තනි පුද්ලෙයෙකු විසින් හෝ කණ්ඩායමක් හෝ රජයක් විසින් හෝ ප්‍රකාශයට පත්කරන්නක් විය නොහැක. “පූජණීය භූමිය” විෂයයෙහි ගැටුම් හා ආගමික ප්‍රචන්ඩත්වයත් ආගමේ නාමයෙන් වෙනත් ජාතියක් මත පලිගැනීමේ අවස්ථාවනුත් නැති කිරීමට උපකාරි වන්නේ මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කෙරෙන්නේ නම් පමණි.

යම් ආගමක් අනුගමනය කරන්නන් තමන් කැමැති අවස්ථාවක තමාට රිසි ප්‍රදේශ පූජණීය භූමි ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීමේ උත්සාහයක යෙදුනහොත් එයට නැවතුම් තිත තබන්නේ කව්ද? අද එක ප්‍රදේශයක්, හෙට තවත් ප්‍රදේශයක් යැයි පූජණීය භූමින් වර්ධනය වන්නටත්, එලෙස වැඩි වෙන වැඩි වෙන ස්ථානයක් පාසා එහි සිටින අනෙක් ආගමිකයින්ගේ දේවස්ථාන ඉවත්කරන්නටත් සිදුවේවි. සමහර විටෙක කිසියම් සමාජයකට එරෙහිව ක්‍රියාකිරීමේ අරමුණින්ම පූජණීය භූමි ප්‍රකාශයට පත්කිරීමටත් සමහරුන් උත්සහ කළ හැක.

ආගමේ නාමයෙන් මුදාහැරෙන මෙවන් ක්‍රියා සැමට අසාධාරණයක් වනවා මිසෙක කිසිම විටෙක එම ආගමේ ගෞරවය ආරක්ෂා කිරීමක් විය නොහැක. පූජණීය ප්‍රදේශ ප්‍රකාශයට පත්කිරීමේ බලය මුස්ලිම්වරුන්ගේ දෑතට භාර දීමට මුහම්මද් නබි නායක තුමා ප්‍රති‍ක්ෂේප කළේද, ආගමේ නාමයෙන් එළිදැක්වෙන අසාධාරණයන් ඉස්ලා‍මයේ නාමයෙන් සිදුවීම මුලිනුපුටා දැමීමටය. එපමණක් නොව, පූජණීය භූමියකට හිමි ව්‍යවහාරයන්, උරුමයන්, චාරිත්‍ර වාරිත්‍ර යනාදිය ද නබි නායක තුමා විසින්ම ඒවා සීමා කළේය. මෙම කරුණු නබිතුමාගෙන් පසු කිසිවෙකු විසින්වත් තම පුද්ගලික මතයට අනුව වෙනස් කළ නොහැකි අතර, ඉස්ලාමයේ පූජණීය භූමින් හා ඒවාහි ව්‍යාවහාරයන්ද වසර 1400 කටත් වැඩි කාලයක් කිසිදු වෙනසකින් තොරව පෙරසේම පවතින්නේය.

පූජණීය භූමි‍‍යේ නාමයෙන් මුස්ලිම්වරුන් විසින් වෙනත් ආගමිකයින් වේදනාවට පත් කිරීමේ, අන්‍යගමිකයින්ට අකටයුතුකම් සිදුකිරීමේ දොරටු මුහම්මද් නබි නායක තුමාණන් විසින් එදා ම වසා දමන ලදී. නබිතුමාගේ අභාවයෙන් පසු, දෙවැනි පාලන නායකයා ලෙස ‍කටයුතු කළ උමර් තුමා ජෙරුසලමට නිල සංචාරයක යෙදුනු අවස්ථාවක කතෝලිකයින් සමග කතෝලික දේවස්ථානයක සාකච්ඡාවක යෙදෙමින් සිටියහ. එම අවස්ථාවේ දී නැමැදීමේ වෙලාව පැමිණියේය. දේවස්ථානයේ ප්‍රධාන පාලක පියතුමා කලීපා උමර් තුමාට එතැනම නැමැදුම ඉටුකරන මෙන් ආරාධනා කර සිටියේය. එම ආරාධනය ප්‍රති‍ක්ෂේප කළ උමර් තුමා, දේවස්ථානයෙන් පිටතට ගොස් වෙනත් ස්ථානයක නැමැදුම ඉටුකළහ. එලෙස හැසිරීමට එතුමා පැවැසූ හේතුව ඓතිහාසික වටිනාකමකින් යුත් නිදසුනකි. ආගමක නාමයෙන් අසාධාරණයක් සිදුවීම නොව හෙට දිනෙක එවැන්නක් සිදුවීමටවත් අවස්ථාවක් නොදෙමි යන අන්දමින් එතුමාගේ පිළිතුර වූයේ, අනාගතයේ, මුස්ලිම්වරු තම නොදැනුම හේතුවෙන් දෙවැනි කලීපා උමර් නැමැදුම් කළ ස්ථානය මේ යැයි පවසමින් ඔබගේ දේවස්ථානය කඩා ඉවත්කර මෙතැන මුස්ලිම් ආගමික ස්ථානයක් සෑදීමේ අවස්ථාව දීමට මා කැමැති නොවෙමි. එනිසායි මම පිටත “එළිමහනේ- නැමැදුම ඉටු කළේ” යනුවෙන් හේතුව පැහැදිළි කළේය.

දෙවැනි කලීපා උමර් තුමා තමාගේ නාමයෙන් ස්ථානයක් පූජණීයත්වයට පත් නොවිය යුතුයි යන්නෙහි කොපමණ උවමනාවෙන් ක්‍රියාක‍ළා ද යන්න මෙම සිදුවීම මගින් අපට වටහා ගත හැකිය. ඊට හේතු කාරණා වූයේ යම් ස්ථානයක් තම කැමැත්තට පූජණීය භූමියක් වීමක් නොවිය ‍යුතුයි. පසු කලෙක තමාගේ නාමයෙන් එම ස්ථානය උදුරාගැනීමකුත් සිදු නොවිය යුතුය යන්නයි. මෙය, “පූජණීය භූමිය” යන්න අල්ලාහ් හා උන්වහන්සේගේ ධර්ම දූතවරයා විසින් ප්‍රකාශයට පත් කිරීම නිසා, එවන් අකටයුතු අනෙක් සමාජයන්ට සිදු නොවීමට ලබාදුන් මහඟු රැකවරණයක් ලෙසද මෙය හැඳින්විය හැක.

මෙ ආකාරයෙන්ම බෞද්ධාගමෙහි ගෞතම බුදුන් විසින් ප්‍රකාශයට පත්කරන ලද පූජණීය භූමින් තිබිය හැක. එම ප්‍රදේශවල ව්‍යවහාරයන් එතුමා විසින්ම හඳුන්වා දෙන්නටත් ඇත. එලෙස තිබේ නම් ඒවාහි උරුමයට ගෞරව දැක්වීම බෞද්ධයින්ට පමණක් නොව අප වෙත ද යුතුකමක් වන්නේ ය. මෙවැනි ප්‍රදේශ ගෞතම බුදුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ සීමා දක්වා තිබේ නම් එම ප්‍රදේශ තුල තිබෙන අපගේ ආගමික ‍ස්ථාන ඉවත්කිරීම හෝ වෙනත් ස්ථානයක ඒවා සාදා ගැනීමට ක්‍රියා කිරීම මුස්ලිම් අපගේ වගකීමකි. අපගේ ප්‍රශ්නය වන්නේ, “පූජණීය භූමිය” ප්‍රකාශයට පත්කරන්නේ කව්රුන්ද? ඔවුන් කුමන සීමාව දක්වා පූජණීය භූමි නම් කිරීම පුළුල් කරනු ඇත්ද? පූජණීය භූමි නම් කිරීම අවසන් වන්නේ කොතැනින්ද? ශ්‍රී ලංකාව ගෞතම ‍බුද්ධ රාජ්‍යයි යන වැකිය අද රටපුරා ප්‍රචාරය කෙරෙයි. හෙට මුළු ශ්‍රී ලංකාවම පූජණීය භූමියක් යැයි ප්‍රකාශයට පත් කෙරේද? එලෙස ප්‍රකාශයට පත් වුවහොත් එය ගෞතම බුදුන්ටත් බෞද්ධාගමටත් පුදන ගෞරවයක් යැයි‍ බෞද්ධ ජනතාව සිතනවාද?

“පූජණීය භූමිය”යනු කුමක්ද? පූජණීය භූමියකට “පූජණීයත්වය” ලැබෙන්නේ කෙසේද? අප බෞද්ධ ජනතාවගෙන් කරන ආයාචනය, ඔවු‍‍න්ගේ පූජණීය වස්තූන්ව, උරුමයන් අප ප්‍රති‍ක්ෂේප කරන්නන් නොවේ, පෙරලා ඒවා ආරක්ෂා කිරීමේ වගකීමක්ද අප සතුව පවති. මන්ද අපට හිමි පූජණීය ස්ථාන හා ඒවාට අදාල ව්‍යවහාරයන්ද ඇත. ලෝක ජනගහනයෙන් කෝටි 140 කටත්, රටවල් 56 කටත් වැඩි දේශයන්හි ජීවත්වන ලෝකයේ අති විශාලතම ජන සමාජයන්ගෙන් එකකි මුස්ලිම් සමාජය. එවැනි ජන සමාජයකට මුළු ලොවටම ඇත්තේ පූජණීය භූමි ‍තුනක් පමණි. ගත වූ අවුරුදු 1400 කටත් වැඩි කාලය තුල හතරවැනි පූජණීය ස්ථානයක් මුස්ලිම්වරු ප්‍රකාශයට පත්කළේද නැත යන්න මෙහි නැවතත් අවධානයට ලක් විය යුතු කරුණකි. එපමණක් නොව සියවස් 10 ක් පමණ ලෝකයේ සුපිරි බලවතා වූයේද ඉස්ලාමයයි. මෙම කාල සීමාව තුල ලෝකය පුරා මුස්ලිම්වරු විසින් පූජණීය භූමි ප්‍රකාශයට පත් කර තිබුනා නම් තත්වය කෙලෙස තිබෙන්නට ඇත්ද? යන්න එක වතාවක් හෝ සිතා බලන්න ලෙසයි. දැනුම ලබන්නන්ට මෙය විශිෂ්ඨ පූර්වාදර්ශයකි.
By:හදවත හදවත

Advertisement

Single Post Navigation

2 thoughts on “පූජණීය භූමියට “පූජනීයත්වය” ලැබෙන්නේ කොතැනින් ද?

  1. සාමාන්‍යන් බුදුන් වහන්සේ එසේ ස්ථාන නම් කලේ නෑ…එහෙත් බුදුන් බුදුවීමට ඉඩ සැලසු බෝරුක..බුදුන් ඇතුලු මහා රහත් වරුන්ගේ ධාතුන් නිධන් කල දාගැබ යන ස්ථාන වැඳිමට හැකි ස්ථාන ලෙස නම් කලා..

  2. Jilbuwa on said:

    දැන් කියන්න හදන්නේ දඹුල්ල පූජා භූමියක් නෙවෙයි කියල ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: