සත්‍යය සොයා ගමු

සත්‍යය හරි ආකාරයෙන් සොයා ගමු

සාමය පතමු(By:Mubarak M Hassan)

ශ්‍රී ලංකාවේ ඓතිහාසික දඹුලු නගරයේ දැන් ඇතිවී තිබෙන තත්වය ජාතියක් ලෙස ශ්‍රී ලාංකික අපට් ජාත්‍යන්තර වේදිකාවේ තවත් කළු පැල්ලමක් ඇති කරන්නට හේතුවීම වැලක්වීමට දැන් කිසිවකුට බැරිය!
දසක තුනක කාලකන්නි යුද්ධයක් යුධමය වශයෙන් නිමාකොට, ඊට සමාන්තරව විසඳිය යුතු ප්‍රශ්න රැසකට හා ඊට ජාත්‍යන්තරයෙන් ඇතිවී තිබෙන බලපෑම් වලින් මිදීමට රටක් ලෙස දැඩි පරිශ්‍රමයක සිංහල, දමිල මුස්ලිම් යනාදී සියලු වැසියන් එක්වන්ව කටයුතු කරන මෙවන් මොහොතක, ගරුතර මහා සංඝරත්නය දඹුල්ලේ ප්‍රදර්ශනය කල ක්‍රියාවන් හා උපයෝගී කල භාෂාව , කිසිසේත්ම රුකුලක් නොවනු ඇත!

දුෂ්කර මොහොතක මුළු මදපෙරදිගම අප රට සමග සිටීමට හේතුවූයේ , මෙරට මුස්ලිම් බුද්ධිමතුන් කෙලින්ම ඔවුන් සමග සාකච්චකොට ඔවුනගේ සහය ලබාගැනීමට සමත්වූ බැවිනි. ඒ ලංකාව තුල මුස්ලිමුන් හා අනිකුත් සුළු ජාතීන්, බහුතරය සමග සාමයෙන් හා සතුටින් ජීවත් වන බවට සාදක ඔප්පු කරමින්, තවදුරටත් මෙය රක ගැනීමේ අවශ්‍යතාව පැහැදිලිකර දීමෙන් පසුවය.
ඒ ජාතික මෙහෙවරට පිදුණු පළමු උපහාරය, ජුම්ම සලාතය කරන්නට ඉඩ නොදී ඔවුන් පල්ලියෙන් පිටමන් කිරීමය. අඩසියවසකට අදික කාලයක් පලස්තීනය අල්ලාගෙන සිටින ඊශ්‍රායිලය තමන් බලෙන් අල්ලාගෙන සිටින පලස්තීන භුමි ප්‍රදේශ තුල , ගිනි අවි ඇත දරාගේනවුවත් ජුම්ම සලාතය කිරීමට අවකාශ දෙනු අප සැමවිටම රුපවාහිනියෙන් දකිමු.

එහෙත්, සහෝදරයන්මෙන්, චිරාත් කාලයක් නෑකම් කියන අපේම සහෝදර ජන කොටසකගේ මග පෙන්වන්නන් වන ගරුතර මහා සන්ඝරතනයන්ගෙන් කෙනෙකු ලෙස දඹුල්ලේ සිද්ධියේදී පිරිවරාගෙ ආ ජනකායට නායකත්වය දුන් අපේ නායක හාමුදුරුවන් හා උන්වහන්සේ සමග වැඩ සිටි අනිකුත් භික්ෂුන් වහන්සේලා ඉතාමත්ම නුසුදුසු, මුස්ලිමුන්ට පමණක් නොව කිසිම චීවර ධාරියෙකුට පිළිගත හා ඇදහිය නොහැකි චරිතාපදානයක් ගෙනහැර දැක්වුහ!

පොදු ජන හිත සුව පිණිස කටයුතු කලයුතු , සියලු සත්වයන්ට සාමය, සතුට සහ සහජීවනත්වය දේශනා කලයුතු බුද්ධ පුත්‍රයන් වහන්සේ , සහෝදර ජන කොටසකට , කිසිසේත් භාවිත කල නොයුතු භාෂා ප්‍රහාරයක් එල්ල කරමින්, සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට අපමණ අවස්තාවන් තිබියදී , නුසුදුසු පුද්ගලයන්ද එක්කරගනිමින් ,එම කටයුත්ත සඳහා නුසුදුසු ක්‍රියා මාර්ගයක්ද අනුගමය කිරීම, තනි පුද්ගලයෙකු ලෙස කුඩා කල සිටම මහා සංඝරත්නය ඇසුරු කරන, උස්වහන්සේලාගේ අනුශාෂකත්වය, මගපෙන්වීම, හා උපකාර ලැබූ මුස්ලිම් ජාතිකයෙක් ලෙස මට දරාගත නොහැකි වේදනාවක් ගෙන දේ!

දේශයේ අනේකවිද දුෂ්කර අවස්ථාවන්වල මහා සංඝරත්නය පෙරමුණ ගෙන කටයුතු කල බව ශ්‍රී ලාංකික ඉතිහාසය දන්නා කව්රුත් පිළිගන්නා නමුත්, සමකාලීන ලෝක තලය මත, අප ජීවත් වන්නේ හුදෙක් ඉතිහාසය මෙනෙහි කරමින් පමණක් නොවන බව උගත් , බුධිමත් , වයසින් මොරාගිය ගෞරවනීය මහා භික්ෂුන්වහන්සේලාට හුදී ජනයා විසින් කියාදීමට අවශ්‍යතාවයක් නොමැත! එහෙත් දඹුල්ලේ සිදුවූ සිද්දි සමූහය සාදාරන සැකයක් දැන් එති කර ඇත! වත්මන් ලෝකයේ කිසිම ජාතියකට තනිව හුදෙකලාවී සිටින්නට බැරිය. මෙය අවබෝද නොවන තරමට සංඝයාවහන්සේලා නුවනින් පිරිහී නැත.

ජාතියක් වැනසීම තුලින් හෝ තවත් ජාතියක ආගමික මුලධර්ම ඇදහීමට ඇති උරුමය නොරකින කල , එම කටයුත්තට මුලපිරු ජාතියේ ආගමික නිදහස නිරායාසයෙන්ම තර්ජනයට ලක්වන්නේය. එපමණක් නොව දම්වැලක පුරුක්මෙන් එහා වෙලුනු අනේකවිද අනවශ්‍ය ප්‍රශ්න උදාවීමද ස්වාභාවික වන්නේය.

වසර ගණනකට පෙර අභාවප්‍රාප්ත වී වදාළ අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් , දීගවාපිය ඓතිහාසික බිම් පිලිබඳ ප්‍රශ්නයකදී අභාවප්‍රාප්ත අෂ්රෆ් මහතා සමග මුහුණට මුහුණ ලා රුපවාහිනී සාකච්චාවකට වැඩම කළහ. ගරුත්වයෙන් යුතු බසකින් අෂ්රෆ් මහතා සමග තර්ක කළහ . එම කතිකාවත අතරතුර කිසිවිටෙකත් කෝපාවිෂ්ට නොවුහ . සුපුරුදු උන්වහන්සේගේ මුව රැඳී සිනහව කිසිවිටෙකත් බැහැර නොකළහ . දෙවස්ටාන කඩා බිඳ දමා කිසි කලබලයකට අනුබල නුදුන්හ .. ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකු ලෙස තම නම හුදී බොදු ජනයා තුල පමණක් නොව මුස්ලිමුන් අතරත් රඳවා නිවන් දුටහ. ඔබවහන්සේලා මෙලෙස කටයුතු කිරීමට , දඹුල්ලේ ඇති පැරණි මුස්ලිම් දේවස්ථානය පමණක් හෙතුවුවායි සිතීම උකහට වන්නේ එබැවිනි!

” කාක්කන්ට ඔලුව උඩින් ඉගිලිලා යන්ට දුන්නත් ඔලුවේ කූඩු හදන්න දෙන්නේ කොහොමද” ඇති පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන්ගේ වචන එසේ විය.
“තොපේ ගෙවලුත් අයින් කරනවා , තොපි ඉන්න්නෙත් පන්සලේ ඉඩම් වල” ” හා පොඩිකාලේ ඉඳල! ඒ කියන්නේ එක්දහස් අටසිය ගණන්වල ඉඳලද? “මේද උන්වහන්සේගේම වචනය. ඒ මුස්ලිම් නොවන කාන්තාවක් එම දේවස්ථානය ඇය කුඩාකල සිටම එතන තිබුනා යැය් උන්වහන්සේට පවසපු මොහොතේදීය.

සිදුවූ සියල්ල ලිවීම අනවශ්‍යය , මන්ද ජාන්ත්යන්තර මාධ්‍ය ඔස්සේ දැනටමත් මෙම රූපරාමු විකාශය වී අවසාන බැවිනි. මෙතුලින් රටට ඇතිවූ කැළල තවත් අනවශ්‍ය අඳුරු පොතක් ලියවීමට පෙරවදනක් වන්නට ඉඩ නොදීය යුතුය . අන්තගාමී හා අදූරදර්ශී සුලුකොටසකගේ ඕන එපාකම්වලට දේශය සහ මුස්ලිම් සමූහයාගේ සාමකාමී ජීවන රටාව බිලි නොදී , තවදුරටත් සාමකාමී , දේශයක් ලෙස ඉදිරියට ගෙනයාම සඳහා සියලු ජන වර්ගයා කටයුතු කිරීම කාලොචියතය. මෙය තරජනයන්ට භියවී ගන්නා තීරණයක් නොවන අතර , ශාපලත් යුද්ධයකින් දසක තුනක් බැට කා යන්තම් නැගී සිටින්නට වෙර දරන දේශයට වාරු දෙන්නටය!

නීතිමය සහය පැතීමට මෙය කිසිසේත්ම අවස්තාවක් නොවන්නේ, එවැනි කිසිම කටයුත්තකින් පලක් නොවන වග මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රාදේශීය ලේකම් තුමියට , සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන් අභිමුව පවසා වදාළ වචනවලින්ම පැහැදිලි වන බැවිනි.
” හැබය්, විසිතුන්වෙනි වෙනි දා අපට සාදාරන විසඳුමක් නොලැබුනොත්, විසි හතරවෙනිදා අපි එන්නේ බෞද්ධ කොඩිය අරගෙන නෙවෙය් !!”

බුදු දහමේ ආරක්ෂාව මහසන්ඝරත්නයට භාර බව නිරතුරුවම මුස්ලිම් ජනයා පිළිගන්න කරුණකි. අදවෙනතුරුත් ශ්‍රී ලංකාව තුල බුදු දහමට හෝ, මහසන්ඝරත්නයට හෝ, සහෝදර සිංහල ජනතාවට කිසිම මුස්ලිම් වරයෙක් දැනුවත්ව වරදක් හෝ අපහාසයක් කර නොමැති අතර එය ඉදිරියටත් එසේ වන බව ස්ථිරය.

එලෙසම අනිකුත් ජාතින් හා සමගිය සහ සහජීවනය ඇතිකරලීමටද සංඝයා වහන්සේ අනුශාසනා කර වදාළ යුතුය.
පංච සීලය රකින්නන්ට එය නිසි ආකාරයෙන් කල හැක්කේ නිවැරදි ධර්ම දේශනාවන්ගෙන් හා මාර්ගොපදේශයන්ගෙන් පමණි.
ධර්මය ධර්මයෙහි හැසිරෙන්නන් රැකීම සඳහාම වුවක් බව බුද්ධ ධර්මය අවධාරණය කරනුයේ එබැවිනි!

සිංහල , දමිල, මුස්ලිම්, කිතුනු, සැමට පොතුවූ මාතෘ භූමියක් හෙට උපදින අහිංසක දරුවන් වෙනුවෙන් ශේෂ කොට මිය යාම තරම් ජීවත්ව සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වටිනා, යුතුකමක් තවත් නැත!!

සියලු සත්වයන් හට සාමය හා සතුට උදා වේවා !!

{Post From: Mubarak M Hassan Facebook Profile }

Single Post Navigation

Leave a comment